Thursday, June 29, 2017

කුමක් කියාවි ද?



අබ මිටක් සොයා
ඉබාගාතයේ දිව ගිය
කිසාගෝතමිය 
අද සිටියානම්
කුමක් කියාවි ද
පනම් දී 
දරු ගැබ නසන
පනම් සොයා
දරු ගැබ 
මිළ කරන
වුන් දැක...



ත‍්‍රස්තවාදය



අවි ආයුධ අමෝරා
නසයි
ත‍්‍රස්තවාදය
එයින් සමහරු
ලාභ ලබති
වැජඹෙති
එහෙත් කිසිවෙකුටත්
නැසිය නොහැක
මිනිස් හදෙහි උපන්
ත‍්‍රස්තවාදය

Saturday, June 24, 2017

සිතුවිල්ල

ප‍්‍රශ්නයක් ආවහම 
පිළිතුරක් නැතිවුණහම
මැරෙන්න හිතනවා ගොඩක් අය
ඉපදෙන හැම භවයකම 
ප‍්‍රශ්නයක් ආවහම
මැරි මැරී ඉන්ටම ද 
එහෙමනම්
        සිතුවිල්ල 


Saturday, June 17, 2017

නිහඬ ආදරයේ සැබෑ අයිතිකරු ඔහු ම විය.....නමින් ඔහු ”තාත්තා” නම් විය...

"My dad's story": Dream for My Child | MetLife

මා ජීවිතයෙන් නැවතී ඇත...

නුඹලා ඇවිඳිමින් සිටී
නමුත් ජීවිතයෙන් නුඹලා නැවතී නැත
නමුත් මා ජීවිතයෙන් නැවතී ඇත...

ඔව්, ඇත්තෙන්ම ඔබට පුළුවන්. ඒ දෙය කරන්නට.




අපි ඉන්න ලෝකය ගොඩක් ලස්සන තැනක්. විවිධාකාර මිනිස්සුන්ගේ අදහස් , ක‍්‍රියාවන් එකට ගැටෙමින් වෙනස් වෙමින් යන හින්දා තමයි ලෝකය ලස්සන වෙන්නේ. කෙනෙක්ට දෙයක් ලැබෙනකොට තව කෙනෙක්ට දෙයක් නැතිවෙලා යනවා. ඒත් ගොඩක් අය කරන්නේ තමන්ට නැතිවුණු දේවල් ගැන හිත හිතා ජීවිතේ අනිත් කාලෙත් අඳුරට ඇඳලා දාගන්න එක. ඒත් වැරදුන තැනින් ආයෙත් අලූත් ආරම්භයක් අරන් ඉස්සරහට යන්න උත්සහ කරන්නේ කීයෙන් කී දෙනා ද? සමහරු කරන්නේ තමන්ට නැති වුණු එක දෙයක් නිසා මුළු ජීවිතේ ම නැති කරගන්න එක. අඳුරට ඇදලා දාගන්න එක. ඒත් ඇයි හිතන්නේ නැත්තේ නතර වුණු තැනින් අළුත් ආරම්භයක් අරන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හරියට රාජාලියෙක් වගේ. මම මේ කියන්න යන රාජාලියගේ කතාව අපට නතර වුණු තැනින් පටන් ගන්න හොඳ පාඩමක් කියලා දෙනවා. 
රජාලියා කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් පක්ෂියෙක්. සාමාන්‍යයෙන් රාජාලියෙකුගේ ආයු කාලය වසර 70 ක් පමණ වෙනවා. නමුත් මොහුට සම්පූර්ණයෙන් ම මෙම වසර 70 ක කාලය ජිවත් වීමට නම් ඉතා දුෂ්කර එක් සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වයස අවුරුදු 40 දී. එහි දී ඌ ගන්නා තීරණය මතයි ඔහුගේ මුළු ජීවිතයම තීරණය වන්නේ. රාජාලියෙකුට තියෙන්නේ ඉතා විශාල ඝන පිහාටු. ඌට වයස අවුරුදු හතලිහ පමණ වන විට උගේ පරණ පියාපත් ඇඟට ඇලීම හේතුවෙන් පියඹා යෑමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. රාජාලියාගේ දිගු හා උල් හොට වකුටු වෙනවා වගේම දිගු හා නම්‍යශීලි නියපොතු අඩපණ වීමට පටන් ගන්නවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ඌට හරිහැටි ගොදුරු සොයා ගැනීමට නොහැකි වීමයි. මේ තත්ත්වයෙන් මිඳීමට රාජාලියාට ඇත්තේ විකල්ප දෙකක් පමණි. ඉන් පළමුවැන්න වන්නේ කිසිම උත්සාහයකින් තොරව කුසගින්නේ සිට ජීවිතය අවසන් කර ගැනීමයි.  මෙය ඉතා ලෙහෙසි පහසු ක‍්‍රියාවකි. නමුත් දෙවැන්න එසේ ලෙහෙසි පහසු ක‍්‍රියාවක් නොවේ. එනම් රාජාලියා තම උත්සහය හා ඉවසීම මත සියල්ල ගොඩනඟා ගානීමයි. එය දැඩි වේදනාකාරී හා පීඩාකාරී කාලසීමාවක්. මේ සඳහා දින එකසිය පනහක් පමණ ගත වේ. මෙම දුෂ්කර ක‍්‍රියාවලියට මුහුණ දීමට රාජාලියා උස් කඳු මුදුනකට පියාඹා යනවා. එහිදී තම වකුටු වූ හොටය ගල් තලාවක අතුල්ලා යථා තත්ත්වයට පත් වන තුරු සිටින රාජාලියා හොටය යථා තත්ත්වයට පත් වූ පසු තම ඇඟට ඇලූනු පිහාටු සියල්ල එකින් එක ගලවා දමනවා. මාස පහකට පමණ පසු රාජාලියා අලූත් ස්වරූපයක් සමඟ යථා තත්ත්වයට පත් වෙනවා. මෙයින් පසු රාජාලියාට වසර තිහක් පමණ ජීවත් වීමට හැකියාව ලැබෙනවා. 
පැමිණෙන බාධා හමුවේ පලා යාම හෝ දුම්රියට පැන ජීවිතය කෙළවර කර පිළිතුර දීම නොව නොබියව චිත්ත ධෛර්යයෙන් යුතුව දුෂ්කර කාලවලට මුහුණ දෙන්න. රාජාලියෙකු මෙන් ලස්සන නිල් අහස සිසාරා ඉඟිළ යන්න. ඔව්, ඇත්තෙන්ම ඔබට පුළුවන්. ඒ දෙය කරන්නට.  

Friday, June 16, 2017

මිනිස්සුන්ගේ මානුෂීයත්වයට මොකද වුනේ?

                              ලෝකය හැදිලා තියෙන්නේ ලස්සන ගහකොළ, ඇළ දොළ, සත්ත්වයින් , ඇසට නොපෙනෙන ජීවීන් , සුළඟ, වැස්ස හා අව්ව මේ කී නොකී සියලූ දේම එකතු වෙලා. ඉතින් මේ ලෝකය හරිම ලස්සන තැනක්. මේ හැම දේකටම ලස්සන කතාන්දර තියෙනවා. අපි පුංචි කාලේ අපේ අත්තම්මලා සීයලා ඒවා ගැන ලස්සන කතාන්දර කියලා දීලා තියෙනවා. අහස ගැන අව්ව ගැන වැස්ස ගැන සත්තු ගැන. ඒත් අපිට අපේ අත්තම්මලා සීයලා කියලා දුන්නු කතාවලින් තේරුම් ගන්න අමාරු වුනේ මිනිස්සු ගැන. මේ මිහිතලයේ සත්ත්ව කාණ්ඩයට ගැනෙන එහෙත් මනසින් උසස් සත්ත්වයා මිනිසා කියලා ඒ අය අපට කියලා දුන්නා. ඒත් අනිත් හැම දෙයක් ගැනම එයාලට කියලා ඉවර කරන්න පුළුවන් වුනාට මිනිසා ගැන හැම දෙයක් ම කියලා දෙන්න ඒ අයට බැරි වුණා. සමහර දේවල් එයාලවත් දන්නේ නෑ. මොකද ඒ එයාලත් මිනිස්සු නිසා.
                        ලෝකයේ රටවල් ගොඩක් තියෙනවා. මිනිස්සු රටවල් බෙදාගෙන තියෙන්නේ ගංඟා, කඳුවැටි, සාගර හා වැලිතලාවන් මායිම් කරගෙන යි. මේ මායිම්වලින් වටවුණු රටවල විවිධ මිනිස් කොට්ඨාසයන් ජීවත් වෙනවා. උපතින් සියල්ලන් ම සමාව වුවත් ජන්මය ලබන රට, කුලය, පවුල, ස්ථානය අනුව මිනිසුන් කාණ්ඩ වී ඇත. සිතන පතන ආකාරය හා හැසිරෙන ආකාරය පවා ඉන් වෙනස් ආරක් ගන්නවා. නැතිනම් ඔවුන් වෙනස් වෙන්නේ ජීව විද්‍යාත්මක සාධකවලින් නොවේ. ඒත් කාලයක් යද්දී මිනිස්සු හිතන්නවත් බැරි විදියට වෙනස් වෙනවා. සල්ලි වලින් ඔවුන් හැම දේම මනින්න පටන් ගන්නවා. අහිංසක මිනිස් ජීවිත මිනිසුන් විසින් ම සල්ලි නිසා දඩයමක් කර ගන්න පෙළඹෙන අවස්ථා ද ඇත. නන්නාදුනන මළසිරුරු පාරවල් අයිනේ , කුණු කානුවල තිබිලා හමු වුණා කියලා ප‍්‍රවෘත්ති විකාශනවල අහන්න දකින්න ලැබෙන්නේ ඒ නිසා. මිනිස්සුන්ගේ මානුෂීයත්වයට මොකද වුනේ?  




















Wednesday, June 14, 2017

අරුතක් නෑ...


සිනාසෙන්නට හේතු දාහක් තිබිය දී
අඩන්නට හේතුවක් සොයන මිනිසුන් සිටින...
අඩන්නට හේතු දාහක් තිබියදී ත්
සිනාසෙන්නට හේතුවක් සොයන මිනිසුන් සිටින...
මහ පුදුමාකාර අමුතු ලෝකයකි මෙය
අරුතක් දීමට නොහැකි... 




Tuesday, June 13, 2017

දුක් විඳින වුන්ගේ කතාව

කතා කරන්න පුළුවන් නම් අහස කියාවි
පෙන්නන්න පුළුවන් නම් සුළඟ පෙන්නාවි
එක්කන් යන්න පුළුවන් නම් මුහුද එක්කන් යාවි
දුක් විඳින වුන්ගේ කතාව පෙන්නන්න






Monday, June 12, 2017

යුක්තිය සහ පාන්

  යුක්තිය සහ පාන් මිනිසුනට එක වගේය
නැත්නම් යුක්තියම පාන් වෙයි
විටෙක එය යහමින් තිබේ
විටෙක හිඟය
දිනෙක රසය, තව දිනෙක නීරසය
පාන් හිඟ වූ විට සාගින්න බහුලය 
එය නරක් වූ විට කල කිරීම වැඩිය
දයාවත් – පළපුරුද්දත් මුසුකොට 
නොතනන විට,
පාන් මෙන් ම යුත්තියත් නරක් වේ.
පාන් මෙන්ම යුක්තිය ද පරණ වූ විට
ඉවත දැමිය යුතුය
පාන් හොඳ නම් සෑහෙන්නට ලැබේ නම්
පාන් කන හොද්ද කුමක් වුව කෑ හැකි ය
එක වරට හොඳ දේවල්
සියල්ලම ලැබිය නොහැකි නිසාය.
යුක්තියෙහි පාන්වලින් පෙහෙණි වූ විට
වැඩියෙන් වැඩත් කළ හැකිය
ආහාරය මෙන්ම යුක්තිය ද
හැමදාම තිබිය යුතුය
එය දවසේ තුන් වේලටම අවශ්‍යය
උදේ සිට ? වන තුරු වැඩ පළේ දී
එය ලැබීම සැබෑ ජීවන සතුටකි
අමාරු කල්හිදීත්
ජනතාවට යුක්තියෙහි පාන්
යහමින් තිබිය යුතුය
ඉතින් සබඳ, යුක්තියෙහි පාන්
නැතුවම බැරි දෙයක් නම්
එය තැනිය යුත්තේ කවුරුන් ද විසින් ද,
ඇත්තෙන් ම පාන් තනන්නෝ කවුරු ද?
ජනතාවය!
අන්න ඒ නිසාම 
යුක්තිය ද තැනිය යුත්තේ ජනතාව විසිනි
ඔව්, යහමින්, පදමට, දිනපතාම
තැනිය යුතුය.
(බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට් - පරිවර්තනය, එස්. ජී. පුංචිහේවා*


උපුටා ගැනීමකි