Thursday, May 18, 2017

ඔබ සාර්ථක ද?

                    ලෝකේ  ගොඩක් අය මහන්සි වෙන්නේ සාර්ථක මිනිසෙක් වෙන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථක කර ගන්න. ගොඩක් අය ඒකට කරන්නේ ඉහළ වැටුපක් එක්ක සමාජයේ පිළිගත්ත රැකියාවක් කරන්න උත්සහ කරන එක. ලස්සන ලොකු ගෙවල් හදන්න උත්සහ කරන එක. තමන්ගේ ම කියලා වාහනයක් ගන්න එක. තමන්ගේ රටින් වෙන රටකට පදිංචියට යන එක. ළමයි ලොකු ලොකු ඉස්කෝලවලට දාන එක. ලෝකෙටම පේන්න සැපවත් විදියට ජීවත් වෙන එක. මේක තමයි ගොඩක් අය දකින සාර්ථකත්වය. ඇත්තෙන් ම අපට සැපවත් ලෙස ජීවත් වෙන්න නම් මේ දෙවල්  ඕන. හැමකෙනෙක් ම එහෙම ජීවත් වෙන්නත් කැමතියි. ඒත් මම දකින විදියට නියම සාර්ථකත්වය කියන්නේ මේක නෙවේ. නියම සාර්ථකත්වය කියන්නේ ඔබ කොපමණ මුදලක් උපයනවා ද ඉපැයූව ද යන්න නොවේ. එසේ මුදල් ඉපැයීම ද අවශ්‍ය යි. නමුත් සැබෑ සාර්ථකත්වය වන්නේ අපි එලෙස මුදල් උපයන ගමන් ම අනෙක් අයගේ ජීවිතවල මොන වගේ වෙනසක් සිදු කරනවා ද යන්න යි. මහත්මා ගාන්ධිතුමා සහ චාලි චැප්ලින් වගේ අය මෙයට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම නිදර්ශන යි. 

                           ගාන්ධිතුමාගේ රුව දුටු සැනින් ඔහු සාර්ථක පුද්ගලයෙක් බවට දිස්වන්නේ නැත. එහෙත් මුළු ඉන්දියාවම ඒකීය රටක් විදියට නඟා සිටුවීමට මුල් වූයේ ඔහුගේ මඟ පෙන්වීම හා දර්ශනය යි. එ මඟ පෙන්වීම හා දර්ශනය වර්තමාන ඉන්දියාව ලෝකේ කිසිම රටකට අත නොපා ජීවත් විය හැකි ඒකීය රටක් බවට පත් කිරීමට තරම් බලවත් එකක් විය. ඉතින් ඔහු සාර්ථක මිනිසෙක් නොවේ ද?

            ”මට තිබුණේ ඉතා දුක් පීඩා සහිත ජීවිතයක්. මට තාත්තා කෙනෙක් හිටියේ නැහැ. අම්මා හිටියේ මානසික රෝහලේ. මට ගොඩක් අඩන්න වුණා. ඒ නිසයි මං තීරණය කළේ ලෝකයම හිනස්සවන්න.”

   

                  මෙහෙම කියන්නේ ලොව ශ්‍රේෂ්ඨ විකට නළු චාලි චැප්ලින් ය. ඉතින් චාලි චැප්ලින්ට පුළුවන් වුණා ලෝකේ හැම මිනිසෙක්ගෙම මුවගට සිනහවක් ගේන්න...ඉතින් ඔහු සාර්ථක මිනිසෙක් නොවේ ද? ඉතින් සාර්ථකත්වයේ මැනෙනුයේ ඔබ උපයන වත්කම් වලින් පමණක් ම නොවේ. ඔබ අන් අය සමඟ කටයුතු කරන ආකාරයත් සමඟ ය.