Saturday, June 17, 2017

ඔව්, ඇත්තෙන්ම ඔබට පුළුවන්. ඒ දෙය කරන්නට.




අපි ඉන්න ලෝකය ගොඩක් ලස්සන තැනක්. විවිධාකාර මිනිස්සුන්ගේ අදහස් , ක‍්‍රියාවන් එකට ගැටෙමින් වෙනස් වෙමින් යන හින්දා තමයි ලෝකය ලස්සන වෙන්නේ. කෙනෙක්ට දෙයක් ලැබෙනකොට තව කෙනෙක්ට දෙයක් නැතිවෙලා යනවා. ඒත් ගොඩක් අය කරන්නේ තමන්ට නැතිවුණු දේවල් ගැන හිත හිතා ජීවිතේ අනිත් කාලෙත් අඳුරට ඇඳලා දාගන්න එක. ඒත් වැරදුන තැනින් ආයෙත් අලූත් ආරම්භයක් අරන් ඉස්සරහට යන්න උත්සහ කරන්නේ කීයෙන් කී දෙනා ද? සමහරු කරන්නේ තමන්ට නැති වුණු එක දෙයක් නිසා මුළු ජීවිතේ ම නැති කරගන්න එක. අඳුරට ඇදලා දාගන්න එක. ඒත් ඇයි හිතන්නේ නැත්තේ නතර වුණු තැනින් අළුත් ආරම්භයක් අරන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හරියට රාජාලියෙක් වගේ. මම මේ කියන්න යන රාජාලියගේ කතාව අපට නතර වුණු තැනින් පටන් ගන්න හොඳ පාඩමක් කියලා දෙනවා. 
රජාලියා කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් පක්ෂියෙක්. සාමාන්‍යයෙන් රාජාලියෙකුගේ ආයු කාලය වසර 70 ක් පමණ වෙනවා. නමුත් මොහුට සම්පූර්ණයෙන් ම මෙම වසර 70 ක කාලය ජිවත් වීමට නම් ඉතා දුෂ්කර එක් සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වයස අවුරුදු 40 දී. එහි දී ඌ ගන්නා තීරණය මතයි ඔහුගේ මුළු ජීවිතයම තීරණය වන්නේ. රාජාලියෙකුට තියෙන්නේ ඉතා විශාල ඝන පිහාටු. ඌට වයස අවුරුදු හතලිහ පමණ වන විට උගේ පරණ පියාපත් ඇඟට ඇලීම හේතුවෙන් පියඹා යෑමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. රාජාලියාගේ දිගු හා උල් හොට වකුටු වෙනවා වගේම දිගු හා නම්‍යශීලි නියපොතු අඩපණ වීමට පටන් ගන්නවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ඌට හරිහැටි ගොදුරු සොයා ගැනීමට නොහැකි වීමයි. මේ තත්ත්වයෙන් මිඳීමට රාජාලියාට ඇත්තේ විකල්ප දෙකක් පමණි. ඉන් පළමුවැන්න වන්නේ කිසිම උත්සාහයකින් තොරව කුසගින්නේ සිට ජීවිතය අවසන් කර ගැනීමයි.  මෙය ඉතා ලෙහෙසි පහසු ක‍්‍රියාවකි. නමුත් දෙවැන්න එසේ ලෙහෙසි පහසු ක‍්‍රියාවක් නොවේ. එනම් රාජාලියා තම උත්සහය හා ඉවසීම මත සියල්ල ගොඩනඟා ගානීමයි. එය දැඩි වේදනාකාරී හා පීඩාකාරී කාලසීමාවක්. මේ සඳහා දින එකසිය පනහක් පමණ ගත වේ. මෙම දුෂ්කර ක‍්‍රියාවලියට මුහුණ දීමට රාජාලියා උස් කඳු මුදුනකට පියාඹා යනවා. එහිදී තම වකුටු වූ හොටය ගල් තලාවක අතුල්ලා යථා තත්ත්වයට පත් වන තුරු සිටින රාජාලියා හොටය යථා තත්ත්වයට පත් වූ පසු තම ඇඟට ඇලූනු පිහාටු සියල්ල එකින් එක ගලවා දමනවා. මාස පහකට පමණ පසු රාජාලියා අලූත් ස්වරූපයක් සමඟ යථා තත්ත්වයට පත් වෙනවා. මෙයින් පසු රාජාලියාට වසර තිහක් පමණ ජීවත් වීමට හැකියාව ලැබෙනවා. 
පැමිණෙන බාධා හමුවේ පලා යාම හෝ දුම්රියට පැන ජීවිතය කෙළවර කර පිළිතුර දීම නොව නොබියව චිත්ත ධෛර්යයෙන් යුතුව දුෂ්කර කාලවලට මුහුණ දෙන්න. රාජාලියෙකු මෙන් ලස්සන නිල් අහස සිසාරා ඉඟිළ යන්න. ඔව්, ඇත්තෙන්ම ඔබට පුළුවන්. ඒ දෙය කරන්නට.  

No comments:

Post a Comment